ජනපති දෙවෙනි පදවි ප්‍රාප්ති යුගයේ මංගල අය වැය අද දුප්පත්කම-විරැකියාව නැති කිරීමට මුල්තැන

දුප්පත්කම සහ විරැකියාව දුරු කිරීමට මුල්තැන ලබාදෙන, ගමේ නගරයේ පොදු පහසුකම් නංවාලීමේ යෝජනාවලට වැඩි මුදලක් වෙන් කරන වසර 2011 වූ සංවර්ධනාත්මක අයවැයක් අද (22) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

ජනපති පදවි ප්‍රාප්තියේ දෙවැනි යුගය අරඹමින් මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන මංගල අයවැය මෙයයි. එමෙන්ම “මහින්ද චින්තන ඉදිරි දැක්මට” අනුව සකස් කළ පළමු අයවැයද මෙය වේ.

ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට දිරිදෙන යෝජනාවලට මුල්තැන මෙම අයවැයෙන් ලබාදේ.

රටේ සියලු ජනතාව ආර්ථික සංවර්ධනයේ කොටස්කරුවන් බවට පත්කිරීම සහ සංවර්ධනයේ ප්‍රතිලාභ සියලුම දෙනා අතර බෙදීයෑම සහතික කිරීම මෙවර අයවැයේ දැක්ම වී තිබේ. මහමාර්ග, පළාත් සභා මාර්ග සහ ග්‍රාමීය මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීමට වැඩි මුදලක් මෙයින් ලබාදෙනු ඇත. ඊට අමතරව කුඩා, සුළු හා මධ්‍ය පරිමාණ ආයෝජකයන්ට වැඩි ප්‍රතිලාභ ලබාදෙන, ඔවුන් දිරිගන්වන යෝජනා රැසක් මීට ඇතුළත්ය.

අප රටේ බදු ක්‍රමයේ පවතින සංකීර්ණ බව දුරුකොට සරල බදු ක්‍රමයක් හඳුන්වාදීම සහ නව ආයෝජකයන්ට ධෛර්්‍යය, උනන්දුව වැඩි කිරීම මෙයින් සිදුකැරේ.

කෘෂිකාර්මික, කර්මාන්ත සහ සේවා අංශවල දියුණුව ඉහළ නංවන එපමණක් නොව, නාවික, ගුවන්, බලශක්ති, වෙළෙඳ හා දැනුමේ කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්කොට ආසියාවේ ආශ්චර්යය වීමේ දැක්ම යථාර්ථයක් බවට පත්කරන යෝජනා මෙවර අයවැයට ඉදිරිපත් කොට ඇත.

අයවැය වාර්තාව මගින් දැක්වෙන රජයේ ආදායම්, වියදම් සහ අයවැය පරතරය ඉලක්ක වසර 2011 අවසානයේ දී ඒ පරිද්දෙන්ම පවත්වා ගැනීමට මෙවර වැඩි අවධානයක් රජය යොමු කොට ඇත.

වසර 2010 දී මෙරට අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 9.8 කි. එය අපේක්ෂා කළේ සියයට 7.0 මට්ටමක පවත්වාගෙන යෑමය. එනමුත්, අපේක්ෂිත මට්ටමට එය පවත්වා ගැනීමට නොහැකි වූයේ රජය අතිවිශාල මුදලක් රටේ සංවර්ධන ව්‍යාපෘතිවලට ආයෝජනය කිරීම නිසාය. මෙවර අයවැය හිඟය සියයට 7.00 ක මට්ටමේ තබා ගැනීම ඉලක්ක කොට ඇත. රජය ලබා ගන්නා විදේශීය ණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 80 මට්ටමේ රඳවා ගැනීමටද ඉලක්ක කොට ඇත. වසර 2005 දී මෙරට ණය ප්‍රමාණය ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස සියයට 105 ක් විය. එය ක්‍රමිකව මේ වනවිට සියයට 84 දක්වා අඩුවී ඇත. රට නංවන සියලු යෝජනා, වචනලට පමණක් සීමා නොවී ක්‍රියාවන් බවට පත්කිරීම අයවැය ඉදිරිපත් කොට අනතුරුව ජාතියට පණිවුඩයක් ලබාදීමටද ජනාධිපතිවරයා බලාපොරොත්තු වේ. පාර්ලිමේන්තුවට රජය පසුගියදා ඉදිරිපත් කළ විසර්ජන පනතට අනුව 2011 වසරේදී පුනරාවර්වතන වියදම රුපියල් බිලියන 1080.9 ක් සහ ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 458.1 ක් ලෙස ඇස්තමේන්තුගත කර තිබේ.

  • email Email to a friend
  • print Print version
  • Plain text Plain text
Rate this article
0

Comments (0 posted):

Post your comment
Please enter the code you see in the image: